෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Saturday, May 5, 2012

බුද්ධ පූර්ණිමා

ලිවුවේ Unknown




“පූර්ණිමා… ලස්සන වචනයක්.හින්දි භාෂාවෙන් ‘පූර්ණිමා’ කියන්නේ ‘පුන් සඳට’. ‘පූර්ණත්වයට පත් වූ සඳමඬල’ කියන එක තමයි එහි තේරුම. ඇත්තෙන් ම සඳ කියන්නේ මහපුදුමාකාර දෙයක්. හිරු මඬල නම් හැමදාම අපි දකින්නේ එකම විදියට, එකම ප්‍රමාණයෙන්. ඒත් සඳ එහෙම නෙවෙයි. සඳ මඬල සම්පූර්ණයෙන් ම නොපෙනී ගිහින් ඝනාන්දකාරය අත්දකින දවසකුත් එනවා. දවසින් දවස ටිකෙන් ටික පිරී ගෙන ඇවිත් මුලු ලෝකය ම සුන්දර රැස් දහරින් නහවන දවසකුත් එනවා.

අපේ මහබෝසතාණන් වහන්සේ ගේ විශ්මිත ජීවිතයත් එක පැත්තකින් පුන් සඳ වගෙයි. සාරාසැකි කප් සුවහස් ගණන් ගෙවාගෙන, උතුම් සම්බුදු බව පිණිස පෙරුමන් පුරමින් පැමිණි ඒ සසර ගමනේ දී මහබෝසතාණන් වහන්සේ සිල් ගුණයෙන් නැණ බලයෙන් වැඩුනේ ටිකෙන් ටික වැඩීගෙන එන සඳ මඬල වගෙයි. ඒ අතර ම උන් වහන්සේ සංසාර ගත සත්වයාගේ ජීවිතතුළ කැටිවෙලා තිබෙන ඝනාන්දකාරයත් වරින් වර අත් වින්දා. දහසකුත් එකක් රහස් සඟවාගත් මේ ලෝකය ගැනත් දුක් විඳින සත්වයින් ගෙ ජීවිත ගැනත්, මහබෝසතාණන් වහන්සේ තුළ පැවති අවබෝධය දිනෙන් දින ම මහා පුදුම විදියට වර්ධනය වුනා.
මින් වසර 2556කට පෙර උදාවූ එක්තරා අසිරිමත් වෛශාක්‍ය පූර්ණිමා දිනයක දී, ගයාවේ ගංතෙරේ ඇසතු බෝරුක් සෙවනේ වජ්‍රාසනය මත වැඩ හිඳිමින් ඒ අවබෝධය පරිපූර්ණත්වයට කරගෙන ලෝකයේ සියලු රහස් දැන හදුනා ගන්නට උන් වහන්සේට හැකි වුනා.

මහබෝසතාණන් වහන්සේ ගේ අවබෝධය පරිපූර්ණත්වයට පත් වුන ඒ උතුම් දිනයේ දී, ලෝකය එළිය කරන්නට පායා ආ වෙසක් පුන්සඳට අලුත් නමක් ලැබුණා. ඒ තමයි “බුද්ධ පූර්ණිමා“ කියන නම. බුද්ධ කියන්නේ “අවබෝධ කළ“ කියන අර්ථය යි. පූර්ණීමා කියන්නේ පූර්ණත්වයට පත් වූ සඳමඬල. තුන් ලොව අවබෝධ කළ දිනයේ පූර්ණත්වයට පත් වූ සඳමඬල කියන අර්ථයෙන් තමයි බුද්ධ පූර්ණිමා කියන නම වෙසක් පුන් පොහෝ දිනයට ලැබුනේ. අදටත් ඉන්දියාව නේපාලය වගේ රටවල් වල වෙසක් පුන් පොහෝ දිනයට බුද්ධ පූර්ණිමා කියන නම භාවිතා වෙනවා.

ඉතින් දැන් තවත් අසිරිමත් බුද්ධ පූර්ණිමාවක් උදාවෙලා. මේ බුද්ධපූර්ණිමාව නොයෙක් අයුරින් සමරන්න ලංකාවෙ වගේ ම ලෝකයේ නොයෙක් තැන්වල බෞද්ධයන් ලක ලෑස්ති වෙනවා. ඒ අතරින් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයෙකු ගෙන් බලාපොරොත්තු වූ විදියට, වඩාත් අර්ථවත්ව, උන්වහන්සේ උදෙසා උපහාර පූජා පවත්වන්නට ඔබට හැකි වුනෝතින්, මේ වෙසක් පුන් පොහෝ දිනය සැබැවින් ම අනුස්මරණීය එකක් වේවි.

භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පූර්ණත්වයට පත් වූ මේ බුද්ධ පූර්ණිමා දිනය ඔබේ අවබෝධය සම්පූර්ණ කරගැනීම උදෙසා වෙන් කළොත් එය සැබෑ බුද්ධ උපස්ථානයක් වේවි. ඒ වගේ ම වෙසක් පුන් පොහෝ දිනයට සැබෑම අරුතක් එක් කරාවි.

ඔබේ අවබෝධය සම්පූර්ණ කර ගත හැක්කේ කොහොම ද..? ඒ සඳහා යි ඔබ පරිපූර්ණ අවබෝධයක් සහිත භාග්‍යවතුන් වහන්සේව සරණ යා යුත්තේ, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මාර්ගයෙහි ම ගමන් කළ යුත්තේ. සංසාරගත සත්වයින් ගේ ජීවිත කියන්නේ අවිද්‍යා ඝන කළු වළාවලින්, මෝහ තිමිර පටලවලින් වැසී ගිය මහා අන්ධකාර එකක්. ඒ අවිද්‍යා තිමිර පටල ඉරාගෙන සත්වයින් ගේ ජීවිතවලට ප්‍රඥා ආලෝකය ලබා දෙන්න පුලුවන් වෙන්නේ, පූර්ණත්වයට පත් වූ ඤාණ ප්‍රභාවකින් යුක්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට පමණයි. ඒ නිසා ඔබට අවිද්‍යා ඝණාන්දකාරයෙන් අත මිදිය හැකි වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයෙහි හැසිරීමෙන් මයි. ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් ම යි. වෙන ක්‍රමයකින් නම් නොවෙයි.
මේ නිසා මේ වෙසක් පුන් පොහෝ දිනයේ දී උතුම් සීලයක පිහිටා, ඉතා හොඳින් සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවාගෙන සම්පූර්ණ දිනය ම ගත කරන්නට උත්සාහ කරන්න. ඒ වගේ ම ජීවිතයේ අනිත්‍ය භාවය, දුක් භාවය සහ අනාත්මය ස්වභාවය මෙනෙහි කරන්නට උත්සාහ ගන්න. පටිච්චසමුප්පාදය වැනි ඔබ ඉගෙන ගත් දහම කරුණු මනා සිහියෙන් ජීවිතයට ගලපා බලන්නට උත්සාහ කරන්න.

ඔබට මතක ඇති, අප ගේ භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දිනය ගත කරනු ලැබුවේ සම්පූර්ණයෙන් ම පාහේ, තමන් වහන්සේ ගේ අවබෝධය පරිපූර්ණ භාවයට පත් කරගැනීම උදෙසා වෙහෙසෙමින් භාවනානුයෝගීව යි. ඒ නිසා ඔබත් මේ උතුම් දිනයේ මොහොතක් වත් හිස් ලෙස ගත නොකර, හැකිතාක් භාවනානුයෝගීවම ගත කරන්නට උත්සාහ දරන්න. ඒ වෑයම යම් දිනෙක ඔබේ අවබෝධය සම්පූර්ණ කරගෙන මේ දුක්ඛිත සංසාර ගමනින් එතෙර වීම පිණිස ඒකාන්තයෙන් ම උපකාර වේවි. එය එසේ ම වේවා.!!! සාදු සාදු සාදු!!!
අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මින් වසර දෙදහස් හයසිය තිස් හයකට පෙර, බුද්ධ පූර්ණිමා නම් වෙසක් පුන් පොහෝ දිනයේ දී, ශාක්‍යයන් ගේ ලුම්බිණි නම් සල් උයන්හිදී මනුලොව උපන් සේක! සාදු සාදු!!

අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මින් වසර දෙදහස් හයසිය එකකට පෙර, බුද්ධ පූර්ණිමා නම් වෙසක් පුන් පොහෝ දිනයේ දී, ගයාවේ ගංතෙරේ ඇසතු බෝ රුක් සෙවනේ වජිරාසනය මත වැඩ හිඳ, පරිපූර්ණ නො වූ සීලය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ සමාධිය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ ප්‍රඥාව මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ විමුක්තිය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නොවූ විමුක්ති ඤාණ දර්ශනය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. ශීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද, විමුක්තියෙන් ද, විමුක්ති ඥානදර්ශනයෙන් ද, තුන් ලොවෙහි අග්‍ර වූ සේක. අනුත්තර වූ සේක. අසම සම වූ සේක. අප්‍රතිසම වූ සේක. සියලු කෙලෙසුන් නසා තුන් ලොව ජයගෙන සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වූ සේක. අරහං බවට පත් වූ සේක. සම්මා සම්බුද්ධ බවට පත් වූ සේක. විජ්ජාචරණ සම්පන්න බවට පත් වූසේක. සුගත බවට පත් වූසේක. ලෝක විදූ බවට පත් වූසේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී බවට පත් වූ සේක. දෙව් මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ බවට පත් වූ සේක. බුද්ධ බවට පත් වූ සේක. භගවා බවට පත් වූ සේක. මනුසත් කලල් විල මත පිපී, තුන්ලොව සුවඳ විහිදන සුදෝසුදු සියපත බවට පත් වූ සේක.. සාදු සාදු!!!
අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, මින් වසර දෙදහස් පන්සිය පනස් හයකට පෙර, සම්බුදු කෘත්‍ය සම්පූර්ණ කොට, පමණ කළ නො හැකි දෙව් මිනිස් පිරිසක් නිවන් පරතෙර පමුණුවා, බුද්ධ පූර්ණිමා නම් වෙසක් පුන් පොහෝ දිනයේ දී, කුශිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේ දී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. සාදු සාදු!!!

බුද්ධ පූර්ණිමා නම් වූ වෛශාක්‍ය පුන් පොහෝ දිනයේ දී මනුලොව උපතලබා, සම්මා සම්බුදු බවට පත්ව, පිරිනිවන් පා වදාළ, ඒ සුගත තථාගත අප ගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සිරසින් නමස්කාරය වේවා.! දෙවනුවද සිරසින් නමස්කාරය වේවා!!! තෙවනුව ද සිරසින් නමස්කාරය වේවා!!!


සාදු සාදු සාදු!!!