෴...සයිබර් විකාරය..෴

අල ගෙඩි වගේ මොළ ගෙඩි වලට හරවත් රසවත් විරාමයක්...

Subscribe
Add to Technorati Favourites
Add to del.icio.us
Wednesday, November 23, 2011

මොනාලීසාගේ ඇසට යටින්

ලිවුවේ Unknown

මොනාලීසාගේ දැන් වයස ඇත්තටම අවුරුදු පන්සීයකටත් ටිකක් වැඩියි. ඒ තරම් කාලයක් තිස්සේ කතා කරලත් එයා ගැන කතාව නම් තවම ඉවරයක් නෑ. ඇස්, නහය, තොල්, විතරක් නෙවෙයි මුහුණේ දකින්න ලැබෙනවයි කියන ගුප්ත සිනහව ගැනත් විවිධාකාර මත තියෙනවා.
මොන යම් හරි හේතුවක් නිසා ලියානාඩෝ ඩාවින්සිගේ මොනාලීසා සිතුවම එක පැත්තකින් ඉතිහාසගත වුණා. අනිත් පැත්තෙන් මොනාලීසා ලෝකයට දායාද කළ ඩාවින්සි ලෝකයට කතා කර කර ඉන්න අභිරහස් ටිකකුත් මොනාලීසාගේ මුහුණේ සඟවලා තියෙනවා. හැබැයි පුදුමය කියන්නේ අවුරුදු 500 ක්ම ගතවෙලා තියෙද්දී මොනාලීසා ගේ මුහුණින් තවමත් රහස් මතු වෙනවා.

පහුගිය දවසක ඉතාලියේ චිත්‍ර කලා ගවේෂක කණ්ඩායමක් මොනාලීසා සිතුවම දිහා අමුතු ඇහැකින් බැලුවා. ඇත්තටම ඒක අධි තාක්ෂණික ඇහැක්. සාමාන්‍ය පියවි ඇහැට පේන්නේ නැති අංශු මාත්‍ර අහුකොන් පවා මේ අධි තාක්ෂණික ඇහැට පේනවා. වසර 500 ක් වයසට ගිය මොනාලීසා ගේ මුහුණ මේ අධි තාක්ෂණික ඇහෙන් බලන්න ගත්තම වෙනදා සාමාන්‍යයෙන් නො දකින ගුප්ත සලකුණු කිහිපයක් දකින්න ලැබුණු බව චිත්‍ර කලා ගවේෂකයෝ කියනවා.

”චිත්‍රය සෑහෙන්න පරණයි. වර්ණ හා රේඛා හැඩතල මුල් චිත්‍රය ඇන්ඳ කාලයේ වගේම අද දකින්න බෑ. නමුත් අපි විස්මයට පත් වෙන දෙයක් දැක්කා. මොනාලීසා ගේ දකුණු ඇසේ ඉතාම සියුම්ව අකුරු වගයක් ඇඳලා තියෙන හැටි පැහැදිලිව දැක්කා. මේ අධි තාක්ෂණික මැග්නිෆිකේෂන් උපකරණ නොතිබුණා නම් කිසිම දාක මේ රහස හෙළිවෙන්නේ නෑ. සාමාන්‍ය පියවි ඇහැකට නම් මොනම විදිහකට වත් ඒ බව දකින්න විදිහක් නෑ...”

ඉතාලියේ ජාතික උරුමයන් හා සංස්කෘතික කමිටුවේ සභාපති සිල්වානෝ වින්සෙට් ගේ ප්‍රකාශය එංගලන්තයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කරලා තිබුණේ එහෙමයි.
මොනාලීසාගේ දකුණු ඇසේ හැංගිලා තිබුණේ LV කියන අකුරු දෙක. සමහරවිට LV අකුරු දෙකෙන් ලියානාඩෝ ඩාවින්සි තමන්ගේ් නම සඳහන් කළා වෙන්න පුළුවන්. වම් ඇහැ ළඟත් ඒ වගේම අකුරු හා ඉලක්කම් වගයක් තියෙන බව සිල්වානෝ කියනවා. ඒත් තවමත් ඒ සංකේත මොනවද කියලා හරිහැටි තෝරා බේරාගෙන නෑ. 

මේ එක්කම අපට මතක් වෙන්නේ මහත් ආන්දෝලනයක් ඇති කළ සුප්‍රකට “ඩාවින්සි කෝඩ්” කෘතියයි. සමහරවිට අපේ සීගිරි ළඳුන්ගේ සිතුවම්වලත් මොන මොන දේවල් රහස් සංකේත හැටියට හැංගිලා තියෙනවද කියලා දන්නේ නෑ. කොහොම වුණත් අපේ දේවල් දිහාත් අලුත් ඇසකින්, හරියටම කිව්වොත් අධි තාක්ෂණික ඇහැකින් බලන්න පුළුවන් නම් බොහෝම වටිනවාය කියලා අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ. 
 
දැන් මේ කතාවේ බොහෝ දෙනෙක් උජාරුවට පෙන්වන්නේ අධි තාක්ෂණයයි. කතාව ඇත්ත ඒත් ලියානාඩෝ ඩිවින්සි මොනාලීසා සිතුවම් කෙළේ අධි තාක්ෂණය යොදා ගෙන නෙවෙයි තමන්ගේ සාමාන්‍ය ඇහැට පෙනෙන විදිහටයි. 

එතකොට ඒ ඇහැත් අරුම පුදුම ඇහැක් නේ! මොකද අධි තාක්ෂණික උපකරණයකට විතරක් බලාගන්න පුළුවන් අති සියුම් සංකේත ටිකක් ඩාවින්සි තමන්ගේ සාමාන්‍ය ඇහැ යොදාගෙන මොනාලීසා ගේ මුහුණට එකතු කරලා තියෙනවා. කොහොමත් නිර්මාණකාරයෙකුට තියෙන්නේ අරුම පුදුම ඇස්. අසාමාන්‍ය නිර්මාණ බිහි වෙන්නෙත් ඒ හින්දා වෙන්න පුළුවන්.

ඩ්ලිමේල් පුවත්පතේ වාර්තාව කියවගෙන යත්දී තවත් අතුරු කතාවක් අහුවුණා. ඇත්තටම මොනාලීසා කියන්නේ කවුද? චිත්‍රයේ තියෙන විදිහටම කාන්තාවක් ජීවත් වුණාද? මේවා ඉතිං විවෘත ප්‍රශ්න! කොහොම වුණත් චිත්‍ර කලා ගවේෂකයන්ගේ එක්තරා විශ්වාසයක් තියෙනවා. ඒ තමා “මොනාලීසා” කියන්නේ චිත්‍ර ශිල්පියා තමන්ගේ මුහුණ දිහා බලාගෙන තමන්ම ඇන්ඳ (ස්වයං ආලේඛ්‍ය) චිත්‍රයක් කියලා. මොනාලීසා සිතුවම් කෙළේ ලියානාඩෝ ඩාවින්සි බවට කිසිම වාදයක් නෑ. 

එහෙනම් ඩාවින්සි කරලා තියෙන්නේ තමන්ගේ මුහුණ දිහා බලාගෙන ඒ අනුසාරයෙන් ගැහැණු රුවක් සිතුවම් කිරීමයි. මොනාලීසා හා ඩාවින්සිගේ මුහුණ අතර බොහෝ ළඟ සමානකම් තියෙනවාය කියලත් තද පිළිගැනීමක් තියෙනවා. 


කොහොම වුණත් කෙනෙක් මානව රූපයක් අඳිනවා නම් ඒකට තමන්ගේ ඇත්ත මුහුණේ හැඩරුව යම් ප්‍රමාණයකට එකතුවීම නිසර්ගයෙන්ම සිදු වෙන බවත් අහන්න ලැබෙනවා. ඒත් ඩාවින්සි තමන්ගේ මුහුණ දිහා බලාගෙන ගැහැණු රූපයක් ඇන්ඳේ ඇයි? ඒක පොඩි ආදර හුටපටයක් නිසා වෙච්ච දෙයක් කියලත් මතයක් තියෙනවා. කොහොම වුණත් ඩාවින්සි මොනාලිසා මඟින් ලෝකයට කියන්න හැදුව රහස නම් තවම අනාවරණය වෙලා නෑ.

2 අදහස් උදහස්:

සංකල්ප said...

මට මතකයි එක කාලයක් ටීවි එකේ කිව්වා මොනාලිසා මේ ෆොටෝ එකේ ඉන්නේ දත්මිටිකාගෙන කියල.ඇත්තද කියලා දන්නේ නෑ.

Unknown said...

ඔව් සහෝදරයා...මටත් ඒ වගේ දෙයක් මතකයි...ඒ විතරක් නොවේ...මොනාලිසාගේ ඇටසැකිල්ල හොයාගෙන තියන්වා කියලත් කියනවා..

Post a Comment